Ads (728x90)

Smiley face

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර ලෝඞ්ස් පිටියේදී පැවැත්වෙන පළමුවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනය වන අද (16 වැනිදා) තේ පානයට පසුව යැවුණු තුන්වැනි ඕවරයේදී කුමාර් සංගක්කාර සහ ළහිරු තිරිමාන්න දෙදෙනාම දැවී යාම නිසා ශ්‍රී ලංකා පිල අමාරුවේ වැටිණ. සංගක්කාර ලකුණු 61 කට දැවී ගිය අතර ළහිරු තිරිමාන්නගේ ඉනිම පන්දු 11 කදී ලකුණු 2 කට සීමා විය. තේ පානය වනතුරු ඉතාමත් පරෙස්සමෙන් පිතිහරඹයේ යෙදුණු කුමාර් සංගක්කාර (නොදැවී 59) සහ ඉදිරි පෙළ පිතිකරුවෝ ඕවර 56 කදී එංගලන්ත පන්දු යවන්නන්ට දවාගැනීමට අවසර දුන්නේ කඩුලු 3 ක් පමණි. තේ පානය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමේදී කඩුලු 3 ක් දැවී ලකුණු 164 ක් ලබා සිටියේය. ලකුණු ලබාගැනීමට වඩා තම කඩුල්ල ආරක්ෂා කරගැනීම සඳහා දැඩි උත්සාහයක යෙදුණු සංගක්කාර සිය ලකුණු 61 වෙනුවෙන් පන්දු 168 කට මුහුණ දුන් අතර ඊට ඇතුළත් වූයේ හතරේ පහර 4 ක් පමණි. එහෙත් ජේම්ස් ඇන්ඩසන්ගේ පන්දුවක් පිත්තේ ගැටීමෙන් පසුව කඩුල්ල තුළට එමින් සංගක්කාරගේ ලෝඩ්ස් සංදර්ශනය නිමා විය. පළමු ඉනිමේදී අලංකාර ශතකයක් ලබාගත් කුමාර් සංගක්කාරගේ දෙවැනි ඉනිමේදී උත්සාහය වූයේ ශතකයක් ලබාගැනීමට වඩා තම කණ්ඩායම පරාජයෙන් බේරා ගැනීමයි. එහෙත් ටෙස්ට් තරගයක පස්වැනි දිනයේදී ඕවර 90 ක් කඩුල්ලේ රැඳී සිටිම සැබවින්ම අභියෝගයකි. සැබෑ ටෙස්ට් පිතිකරුවකුගේ ලක්ෂණ විදහා පාමින් පිතිහරඹයේ යෙදුණු කෙෳෂාල් සිල්වා ලකුණු 57 කට දැවී ගියේ හතරේ පහර 7 කින් තම ඉනිම සැරසීමෙන් අනතුරුවය. තරගයේ ජයග්‍රහණය එංගලන්ත පිලෙන් ඈතට ඇදගෙන යාමේ එකම ක්‍රමය කඩුලු ආරක්ෂා කරගැනීම වූ අතර තේ පානය වන විට පුවරුවේ තිබූ ලකුණු සංඛ්‍යාව මත ජයග්‍රහණය කරා යාමට ශ්‍රී ලංකා පිලට අවස්ථාවක් නොතිබිණ. අද පෙරවරුවේදී පිති අතට නොගෙනම තම ඉනිම අත්හිටවූ එංගලන්ත කණ්ඩායම මෙම තරගය ජයගැනීමට නම් ලකුණු 390 ක් ලබාගන්නා ලෙස ශී‍්‍ර ලංකා පිලට අභියෝග කර සිටියේය. තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ (15 වැනිදා) සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 267 ක් ලබාගත් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමේ වාසියත් සමගින් ලකුණු 289 ක් ඉදිරියෙන් සිටියේය. තරගය ජය පරායෙන් තොරව අවසන් කරගැනීමට නම් අද දිනයේ යැවෙන ඕවර 90 තුළදී තම කඩුලූ 10 ආරක්‍ෂා කරගැනීමට ශී‍්‍ර ලංකා පිලට සිදුවෙතත් තරගයේ 8 වැනි ඕවරයේදී දිමුත් කරුණාරත්න පිටියෙන් ඉවත්විය. ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ කෙටි පන්දුවක් පසු පාදයෙන් පිළිගත් කරුණාරත්නගේ පිත්තේ යාන්තමින් ගැටුණු පන්දුව පිතිකරුවාගේ කලවයේ වැදීමෙන් පසුව සෑම් රොබ්සන්ගේ අත පත්විය. කෞෂාල් සිල්වා සහ කුමාර් සංගක්කාර ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් අසීරු අභියෝගයක් බාරගෙන සිටිති. කී‍්‍රඩාංගණයේ හිරු රැස් නොමැතිවීමත් තරමක් අඳුරු කාලගුණික තත්ත්වයක් පැවතීමත් එංගලන්ත වේග පන්දු යවන්නන්ට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කර දී තිබේ.

Post a Comment