Ads (728x90)

Smiley face

ලෝක කුසලාන පාපන්දු තරගබිමේ හොන්ඩියුරස් කණ්ඩායමට තිබූ මිනිත්තු 500 කට අධික ඉඩෝරය නිමා කරමින් හොන්ඩියුරස් කණ්ඩායම ඔවුන්ගේ කුළුඳුල් ලෝක කුසලාන ගෝලය වාර්තා කිරීමට සමත්වූවද ඉක්වදෝරයේ එනර් වැලෙන්සියාගේ ගෝල ද්විත්වය නිසා ඒ සතුට මිනිත්තු 35 ක් ඇතුලත මැකී ගියේ ගෝල 2-1ක පරාජයක් හොන්ඩියුරස් පිලට උරුම කර දෙමිනි. තරගය ආරම්භයේ දී දෙපිල අතර සමබරව හුවමාරු වූ පන්දුව 20 වැනි මිනිත්තුවේ දී වැලෙන්සියා ඩැහැගත්තේය. ඔහුගේ වේගවත් පා පහරකින් ප්‍රතිවාදී දැළ වෙතට පන්දුව යොමුවූවත් එය ගෝල් කණුවේ වැදී ඉවතට විසිවී ගියේය. එහෙත් වැලෙන්සියා තම කණ්ඩායමට දැඩි හිසරදයක් වනු ඇතැයි ඒ මොහොතේ හොන්ඩියුරස් පිලේ ක්‍රීඩකයන්ට සිතෙන්නට ඇත. අනතුරුව 31 වැනි මිනිත්තුවේ දී හොන්ඩියුරස් පිලේ ලෝක කුසලාන ගෝල නියඟය මකා දැමූ කාලෝස් කොස්ලි පළමු ගෝලය අත්කර දුන්නේය. 1982 තරගමාලාවෙන් පසුව හොන්ඩියුරස් පිල ලැබූ පළමු ලෝක කුසලාන ගෝලය ලෙස එය වාර්තාපොතට එක්විය. ඒ අනුව හොන්ඩියුරස් පිල ගෝල 1-0කින් පෙරමුණ ගත්තේය. එහෙත් ඊට මිනිත්තු තුනකට පසුව වැලෙන්සියා ලබාගත් ගෝලයත් සමග ඉක්වදෝරය ගෝල් 1-1 ක ලෙස තරගය සමකර ගත්තේය. පළමු භාගයෙන් පසුව ඉක්වදෝරය සිය අභියෝගාත්මක ක්‍රීඩා රටාව අඛණ්ඩව පවත්වාගැනීමට සමත්වූ අතර ප්‍රතිවාදීන් බලාපොරොත්තු වූ ලෙසම ඔවුන්ට දැඩි හිසරදයක් බවට පත්වූ වැලෙන්සියා 64 වැනි මිනිත්තුවේ දී සිය දෙවැනි ගෝලයත් ලබාගත්තේය. වෝල්ටර් අයූවි නිදහස් පහරක් මගින් පිරිනැමූ පන්දුව නිවැරදි ඉලක්කයට යොමු කරමින් වැලෙන්සියා ලබාගත් මේ ගෝලයල ඉක්වදෝරයේ අවසන් ලෝක කුසලාන තරග 6 දී වැලෙන්සියා විසින් ලබාගන්නා ලද 7 වැනි ගෝලය විය.

Post a Comment