Ads (728x90)

Smiley face

ලුයිස් සුවාරිස් ඔහුගේ ක්‍රීඩා දිවිය තුල තුන්වැනි වරටත් ප්‍රතිවාදී ක්‍රීඩකයකු සපාකෑමේ මතභේදාත්මක සිදුවීම මැද උරුගුවේ පිල ගෝල 1-0 කින් ඉතාලිය පරදවා අවසන් 16 දෙනා අතරට සුදුසුකම් ලබා ගත්තේය. ඉතාලිය පිට පිට දෙවැනි වරටත් ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ මූලික වටයෙන් ඉවතට විසිවිය. තරගයේ 79 වැනි මිනිත්තුවේ දී ප්‍රතිවාදී ක්‍රීඩක ජියෝජි චයිලිනි පන්දුව රැගෙන ඉදිරියට යද්දී ඒ පසුපස ලුහුබැඳ ගිය සුවාරිස් ඔහුගේ උරහිස සපා කෑ බවක් රූපවාහිනි පුනරූපනවලින් පෙන්නුම් කෙරිණි. චයිලිනී විසින් සුවාරිස්ගේ දත් පහරවල් විනිසුරුට පෙන්වනු ලැබීය. මීට පෙර දෙවතාවක්ම ඔහු මේ වරද කර ඇති බැවින් මෙවර සුවාරිස්ට එරෙහිව ලැබෙන දඬුවම අතිශය බරපතල එකක් වනු ඇතැයි විචාරකයෝ කියති. මීට පෙර උරුගුවේ අන්තර් සමාජ ක්‍රීඩකයකු වන ඔට්මාන් බක්කල් 2010දිත්, චෙල්සියා ක්‍රීඩා සමාජයේ බ්‍රැනිස්ලොව් ඉවනෝවික් 2013දිත් සුවාරිස් විසින් සපාකනු ලැබීම හේතුවෙන් උරුගුවේ ජාතික පිලේ ප්‍රහාරකායා දෙවතාවක් තරග තහනමට ලක්විය. නතාල් හී පැවැති මේ තරගයේදී ඉතාලියට එරෙහිව උරුගුවේ තීරණාත්මක ගෝලය වාර්තා වුයේ දෙවැනි භාගයේදීය. පළමු භාගයේ පන්දුව දෙපැත්තට හුවමාරු වූවත් ගෝලයක් ලබාගැනීමේ අවස්ථාව කිසිවකුට හිමිවූයේ නැත. එහෙත් තරගයේ 33 වැනි මිනිත්තුවේ දී සුවාරිස් වේගවත් පහරකින් පන්දුව දැළ තුළට එල්ල කළත් ඉතාලියේ දැළ රකින්නා වන බුෆොන් ඉතා දක්ෂ අයුරින් එය වැළැක්වීය. දෙවැනි භාගයේ දී තරගය උණුසුම් ස්වරූපයක් ගත්තේය. 58 වැනි මිනිත්තුවේ සුවාරිස් පිරිනැමූ පන්දුව ගෝලයක් බවට පත් කිරීමට ජේම්ස් රොඩ්‍රිගුවස්ට තිබූ අවස්ථාව නූලෙන් ගිලිහී ගියේය. ඊළඟ මිනිත්තුවේ දී උරුගුවේ අරේවැලෝට නීතිවිරෝධී අයුරින් දැඩි බාධා සිදුකිරීම හේතුවෙන් ක්ලෝඩියෝ මාර්චිසියෝ රතු කාඩ් පතෙන් දඬුවම් දී පිටියෙන් ඉවත් කිරීමට තරග විනිසුරු පියවර ගත්තේය. ඒ අනුව ඉතාලියට ක්‍රීඩකයන් 10 කගෙන් පමණක් තරගයේ ඉතිරි කාලය ක්‍රීඩා කිරිමට සිදුවිය. 2006 වසරෙන් පසුව ලෝක කුසලාන පාපන්දු තරගයක දී ඉතාලි ක්‍රීඩකයකු රතු කාඩ් පතෙන් දඬුවම් ලැබූ පළමු අවස්ථාව මෙය විය. 66 වැනි මිනිත්තුවේ දී තවත් වතාවක් උරුගුවට ගෝලයක් ලබාගැනීමේ අවස්ථාව අහිමි කරමින් සුවාරිස් ගැසූ වේගවත් පහරක් ඉතාලි දැල් රකින්නා අසීරුවෙන් රැක ගත්තේය. අසහනය ඉවසාගත නොහැකි වූ සුවාරිස් 79 වැනි මිනිත්තුවේ දී ඉතාලි ක්‍රිඩකයා සපා කෑවේය. ඊට මිනිත්තු දෙකකට පසුව ඩියාගෝ ගොඩින් තම හිසෙන් ගැසූ ඉතා සාර්ථක පහරකින් ගෝලයක් වාර්තා කරමින් උරුගුවට ජය ගෙන දුන්නේය.

Post a Comment