Ads (728x90)

Smiley face

චිලී රාජ්‍යය හමුවේ ගෝල 2-0 ක වේදනාත්මක පරාජයක් උරුම කරගත් ලෝක ශූර ස්පාඤ්ඤය 2014 ලෝක කුසලාන පාපන්දු තරගමාලාවෙන් ඉවතට විසිවූ පළමු කණ්ඩායම බවට පත්විය. ‘බී‘ කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය මැරකානා ක්‍රීඩාංගණයේ පැවැති අතර එහිදී ස්පාඤ්ඤය ලැබූ අනපේක්ෂිත පරාජය ක්‍රීඩාලෝලීන්ගේ විමතියට හේතුවක් විය. පාපන්දු ලෝක කුසලාන දිනාගත් කණ්ඩායමක් ඊළඟ තරගමාලාවේ මූලික වටයෙන්ම ඉවතට විසිවූ සිවුවැනි අවස්ථාව ලෙස මෙය පාපන්දු ඉතිහාසයට එක්විය. මීට පෙර 1938 ලෝක ශූරයන් වූ ඉතාලිය 1950 තරගමාලාවෙන් ද (දෙවැනි මහා ලෝක යුද්ධය හේතුවෙන් 1942 හා 1946 තරගමාලා නොපැවැත්විණි), 1962 ලෝක ශූරයන් වූ බ්‍රසීලය 1966 තරගමාලාවෙන් ද, 1998 ලෝක ශූරයන් වූ ප්‍රංශය 2002 තරගමාලාවෙන් ද, 2006 ලෝක ශූරයන් වූ ඉතාලිය 2010 තරගමාලාවෙන් ද මූලික වටයේදීම ඉවතට විසිවිය. ස්පාඤ්ඤයේ පරාජයට හේතුවූ ගෝල් දෙකම වාර්තා වූයේ තරගයේ පළමු භාගයේ දී වීම විශේෂත්වයකි. 20 වැනි මිනිත්තුවේ දී චිලී කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩක එඩුරාඩෝ වේගාස් ස්පාඤ්ඤයේ ඉදිරි ආරක්ෂක වළල්ල අතරින් පන්දුව රැගෙන ගොස් වේගවත් පහරකින් සිය කණ්ඩායමට පළමු ගෝලය ලබා දුන්නේය. චිලී කණ්ඩායමේ දෙවැනි ගෝලය වාර්තා වූයේ 43 වැනි මිනිත්තුවේ දීය. අලෙක්සිස් සැන්චෙස්ගේ සාර්ථක පන්දු පිරිනැමීමක් මත නිදහස් පහරකින් අරංගිස් එම ගෝලය ලබාගත්තේය. තරගයේ දෙවැනි භාගයේ දී අවස්ථා කීපයකදීම අතිරේක ක්‍රීඩකයන් යොදා ගනිමින් ලෝක ශූරයන් ලෙස තම අභිමානය රැක ගැනීමට ස්පාඤ්ඤය උත්සාහ කළ ද ඒ සියල්ල චිලී ක්‍රීඩකයන්ගේ ආරක්ෂාකාරී ක්‍රීඩා රටාව මැද ව්‍යර්ථ විය. මෙවර තරගමාලාවේ කැපී පෙනෙන ක්‍රීඩකයන් අතරට එක් වනු ඇතැයි අනාවැකි පළවූ ස්පාඤ්ඤයේ සුපිරි ක්‍රීඩක ඇන්ඩ්‍රස් අයිනීස්ටා සිය සුපුරුදු ක්‍රීඩා රටාවට අවතීර්ණ නොවීම විශේෂ සිදුවීමකි. 84 වැනි මිනිත්තුවේ දී ඔහුට ගෝලයක් රැස් කිරීමේ අවස්ථාවක් උදාවූව ද චිලී දැල් රකින්නා වූ ක්ලෝඩියා බ්‍රාවෝගේ සාර්ථක ආවරණයෙන් එය මඟ හැරිණි. ඊට පෙර 53 වැනි මිනිත්තුවේ දී බුස්කෙට්ස් ද, 80 වැනි මිනිත්තුවේ දී අතිරේක ක්‍රීඩක සැන්ටි කසොර්ලා ද ප්‍රතිවාදී ආරක්ෂක වළල්ල බිඳ දමමින් දැළ වෙත පන්දුව එවූ නමුත් ඒවා සාර්ථක වූයේ නැත. මීට පෙර සිය පළමු තරගයේ දී පසුගිය තරගමාලාවේ අනුශූරයන් වූ නෙදර්ලන්තය හමුවේ ගෝල 5-1ක පරාජයක් විඳගත් ස්පාඤ්ඤය මෙවර තරගමාලාවේ පළමු තරග 2 න් පමණක් ප්‍රතිවාදින්ට ගෝල් 7ක් ලබාගැනීමට ඉඩ දීමෙන් ඔවුන්ගේ පසුබෑම කැපී පෙනේ. පසුගිය වසරේ තරගමාලාවේ දී ඔවුන් තරග 7කට සහභාගි වූ අතර එහි දී ප්‍රතිවාදීන්ට රැස් කිරිමට අවසර දී තිබුණේ ගෝල් දෙකක් පමණි. 2010 ලෝක පාපන්දු කුසලානයත්, 2008 හා 2012 යුරෝපීය පාපන්දු කුසලානයත් දිනා ගත් ස්පාඤ්ඤය මෙවර තරගමාලාවේ මූලික වටයෙන්ම ඉවතට විසිවීම විචාරකයන්ගේ දැඩි කතාබහට ලක්වී තිබේ.

Post a Comment