Ads (728x90)

Smiley face

ලයනල් මෙසීගේ අති විශිෂ්ට ගෝල ද්විත්වය මත නයිජීරියාවට එරෙහිව ගෝල 3-2 ක ජයක් වාර්තා කිරීමට ආජන්ටිනාව සමත්විය. ‘එෆ්‘ කාණ්ඩය යටතේ බේරා රියෝ හී පැවැති මේ තරගය ආජන්ටිනාවට තීරණාත්මක තරගයක් නොවූ අතර ඔවුන්ගේ අරමුණ වූයේ තරගකාරිත්වයෙන් වැඩි දෙවැනි වටයට යාමට පෙර තම හැකියාව මුවහත් කරගැනීම පමණි. එහෙත් ‘එෆ්‘ කාණ්ඩයෙන් ඊළඟ වටයට යන දෙවැනි කණ්ඩායම බවට පත්වීමට ඉරානය ද උත්සාහයක නිරතව සිටි හෙයින් මේ තරගය නයිජීරියාවට තීරණාත්මක එකක් විය. කෙසේවෙතත් ඊයේ (25) පැවැති ‘එෆ්‘ කාණ්ඩයේ ඉතිරි තරගයෙන් ඉරානය අනපේක්ෂිත පරාජයක් ලැබීම හේතුවෙන් නයිජීරියාවට අවසන් 16 ට එක්වීමේ වාසනාව හිමිවිය. තරගය ආරම්භයේ සිටම ප්‍රතිවාදීන්ට දැඩි හිසරදයක් වූ මෙසී නයිජීරියාවට එරෙහිව ගෝල ද්විත්වයක් වාර්තා කිරීම කැපී පෙනුණි. මෙසී මේ වනවිට තරග 3 කදි ගෝල 4ක් රැස් කරගෙන සිටී. ඔහුට නොදෙවැනි අයුරින් ක්‍රීඩා කළ නයිජීරියාවේ අහමඩ් මූසා ද ගෝල ද්විත්වයක් වාර්තා කිරීම විශේෂත්වයකි. ඒ අනුව මේ තරගය මෙසී - මූසා තරගයක් බවට පත්වීය. මෙසීගේ ගෝල ද්විත්වයේ පළමුවැන්න වාර්තා වූයේ 3 වැනි මිනිත්තුවේ දීය. මස්චෙරානෝ පිරිනැමූ පන්දුවට ඩි මරියා විසින් වේගයෙන් ගැසූ පහරින් පන්දුව ප්‍රතිවාදී දැල් කණුවේ වැදී නැවත පිටියට ආවේය. එහෙත් දැල් රකින එනියේමා පන්දුව ඩැහැ ගැනීමට පෙර ක්‍රියාත්මක වූ මෙසී ඉතා සාර්ථකව එය දැළ තුළට යොමු කළේය. එහෙත් ආජන්ටිනා ක්‍රීඩකයන් විශ්මයට පත් කරමින් ඊළඟ මිනිත්තුවේ දී නයිජීරියාවේ අහමඩ් මූසා ගෝලයක් ලබාගැනීමත් සමග තරගය 1-1ක් ලෙස සම විය. ඊළඟට පළමු භාගය නිමාවනතුරු පන්දුව වැඩිපුර ප්‍රතිවාදීන් අතට නොයැවීමට ආජන්ටිනා ක්‍රීඩකයෝ වග බලාගත්හ. පළමු භාගයේ අවසන් මොහොතේ දී මෙසී සිය දෙවැනි ගෝලය වාර්තා කරමින් 2-1කින් ආජන්ටිනාව ඔසවා තැබුවේය. ඒ අතරතුර කාලයේ හිගුයින්, ඩි මරියා සහ මෙසී අවස්ථා 3ක දී ගෝල ලබාගැනීමේ ආසන්නයටම පැමිණි අතර ඉන් අවස්ථා දෙකක් මඟ හැරුණේ එනියාමාගේ විශිෂ්ට දැල් රැකීම හේතුවෙනි. දෙවැනි භාගය ආරම්භවීමෙන් මිනිත්තු 3ක් ඇතුලත මෙසීට නොදෙවැනි අයුරින් ක්‍රීඩා කරමින් තරගයේ සිය දෙවැනි ගෝලය වාර්තා කළ මූසා ගෝල සංඛ්‍යාව 2-2කින් සම කර ගත්තේය. ආජන්ටිනාවට ජයගෙන දුන් ගෝලය වාර්තා වූයේ 50 වැනි මිනිත්තුවේ දීය. එය ලබාගත්තේ මාර්කොස් රෝජෝ විසිනි. ඒ අනුව 3-2කින් ආජන්ටිනාව පෙරමුණ ගත්තේය. 80 වැනි මිනිත්තුවේ දී තවත් ගෝලයක් වාර්තා කරමින් තරගය සමකර ගැනීමටත්, ගෝල ත්‍රිත්වයක් රැස් කරමින් නයිජීරියාවට ඓතිහාසික වාර්තාවක් හිමිකර දීමටත් මූසාට ලැබුණු අවස්ථාව මඟ හැරී ගියේය.

Post a Comment