Ads (728x90)

Smiley face

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී තම සිය වැනි ටෙස්ට් තරගයට සහභාගී වූ බටහිර ඉන්දීය කොදෙව් පිලේ ප‍්‍රවේගකාරී පිතිකරු කි‍්‍රස් ගේල්, එහිදී ටෙස්ට් ලකුණු 7000 සීමාවද ඉක්මවා යෑමට සමත්විය. බ‍්‍රයන් ලාරා, ශිව්නරීන් චන්ද්‍රපෝල්, විවියන් රිචඞ්ස්, ශී‍්‍රමත් ගාෆීඞ්ල්ඞ් සෝබර්ස්, ගෝර්ඞ්න් ගිනිච්, ක්ලයිව් ලොයිඞ් සහ ඩෙස්මන්ඞ් හේන්ස් ටෙස්ට් ලකුණු 7000 සීමාව ඉක්මවා ගිය බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් අතරේ ගේල්ට ඉදිරියෙන් සිටිති. මේ වන විට ටෙස්ට් තරග 100 කට සහභාගිවී ඇති ගේල්, එහිදී ඉනිම් 176 ක් තුළ ශතක 15 ක් සහ අර්ධ ශතක 35 ක් සමගින් ලකුණු 7007 ක් රැස්කරගෙන තිබේ. එහිදී ඔහුගේ ඉනිමක ලකුණු ලබාගැනීමේ සාමන්‍ය 41.95 ක් ලෙස සටහන්වේ. ශ්‍රී ලංකාවට එරෙහිව 2010 වසරේ ගාල්ලේ පැවති ටෙස්ට් තරගයකදී රැස්කළ ලකුණු 333 ගේල් ඉනිමක ලබා ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස හැදින්වේ. 2000 වසරේ මාර්තු මාසයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට සහභාගී වූ කි‍්‍රස් ගේල්, එදා මෙදා තුර තම ටෙස්ට් කි‍්‍රකට් දිවිය තුළ හයේ පහර 90 ක් සහ හතරේ පහර 1021 ක් එල්ල කිරීමට සමත්වී තිබේ. මේ වන විට 34 වැනි වියේ පසුවන ගේල්, ටෙස්ට් තරග වලදී දවාගෙන ඇති කඩුලූ සංඛ්‍යාව 72 කි. එහිදී ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍ය 42.23 ක් වන අතර ඉනිම හොඳම පන්දුයැවීම ලෙස සටහන් වන්නේ ලකුණු 34 කට කඩුලූ 5 ක් දවාගැනීමයි. මෙම ටෙස්ට් තරග 100 තුළදී ගේල් රැකගෙන ඇති උඩ පන්දු සංඛ්‍යාව 92 කි.

Post a Comment