Ads (728x90)

Smiley face

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී එංගලන්ත පිල ලබාගත් ලකුණු 575 ට පිළිතුරු සොයා යන ශ්‍රී ලංකා පිලේ 7 වැනි කඩුල්ලත් ලකුණු 413 දී බිඳ වැටුණ හෙයින් තරමක අසීරුතාවකට මුහුණ දී සිටින ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පසුපෙළ පිතිකරුවකු වන රංගන හේරත් සමග එක්ව ශ්‍රී ලංකා පිල ගොඩගැනීමේ වෙහෙසකර සටනක නිරතව සිටියේය. තරගයේ තුන්වැනි දිනය වන අද සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල කඩුලු 7 ක් දැවී ලකුණු 415 ක් ලබා සිටියේය. නායකයකුගේ වගකීම මනාව වටහාගෙන තිබූ ඇන්ජලෝ මැතිව්ස්, පන්දු 127 කට මුහුණ දෙමින්, හතරේ පහර 8 ක්ද සහිතව, නොදැවී ලකුණු 79 ක් ලබා සිටි අතර කුමාර් සංගක්කාර සහ මැතිව්ස් දෙදෙනා අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාවේ වටිනාකමද ලකුණු 96 ක් විය. අද සවස තේ පානයෙන් අනතුරුව කඩුලු 4 ක් දැවී ලකුණු 375 පසුකර ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ මූලික ඉලක්කය පසුකර ගියේ පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අසීරුතාවෙන් මිදෙමිනි. එහෙත් එංගලන්ත පිල පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 575 ට වඩා ශ්‍රී ලංකා පිල තවමත් ලකුණු 160 ක් පසුපසින් සිටී. තරගයේ තවත් සම්පූර්ණ දින දෙකක්ම ඉතිරිව තිබෙන හෙයින් පළමු ඉනිමේදී එංගලන්ත පිලේ වාසිය අවම කිරීම ශ්‍රී ලංකා පිලේ සැනසීමට හේතුවනු නිසැකය. ලෝකයේ විශිෂ්ටතම පිතිකරුවකු ලෙසින් සම්මානයට පාත්‍ර වී සිටිමින් ලෝඩ්ස් පිටියේදී ටෙස්ට් ශතකයක් ලබා ගැනීමේ අභියෝගයට අති විශිෂ්ට ආකාරයෙන් මුහුණ දුන් කුමාර් සංගක්කාර තරගයේ තුන්වැනි දිනය වන අද තම ඉලක්කය සපුරා ගත්තේය. එහෙත් ලකුණු 147 ක් ලබා සිටියදී මුයින් අලීගේ පන්දුවකට බැක් කට් පහරක් ගැසීමට ගිය සංගක්කාරගේ පිත්තේ යාන්තමින් ගැටුණු පන්දුව මැතිව් ප්‍රයර් අත පත්වීම නිසා පන්දු 258 කට පසුව සංගාගේ ඉනිම නිමා විය. අලංකාර කවර් ඩ්‍රයිව් පහරකින් ජෝ රූට්ගේ පන්දුවක් හත‍ෙරේ සීමාවට යැවූ සංගක්කාර සිය ශතකය ලබාගැනීමත් සමගින් ක්‍රීඩාගාරය දෙසට හැරී පිත්ත ඔසවා ආචාර කරද්දී පසුපසින් දිව ආ මහේල ජයවර්ධන කුඩා දරුවකු සිය පියාගේ උරිස්සට පනින්නාක් මෙන් සංගක්කාර වෙතට පැන සිය සගයා වැළඳ ගනිමින් සතුට පළකළේය. සංගක්කාරගේ ඉනිමට හතරේ පහර 16 ක් ඇතුළත් වූ අතර පන්දු 105 කට මුහුණ දුන් මහේල ජයවර්ධන එයින් 7 ක්ම හතරේ සීමාවට යවමින් ලකුණු 55 ක් ලබාගත්තේය.මෙම ටෙස්ට් තරගයේදී ඔවුන් දෙදෙනා ගොඩනැංවූයේ තම 17 වැනි ශතක සම්බන්ධතාව වන අතර එය ලකුණු 126 ක් විය. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් දෙදෙනා වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මේ වන විට ලෝකයේ හොඳම ටෙස්ට් සම්බන්ධතා පැවැත්වූ පිතිකරුවන්ගේ ලයිස්තුවේ 3 වැනි ස්ථානය හිමිකරගෙන සිටිති.

Post a Comment