Ads (728x90)

Smiley face

ප්‍රංශය හා ඉක්වදෝරය අතර ‘ඊ‘ කාණ්ඩය යටතේ මරකානා ක්‍රීඩංගණයේ පැවැති තරගය ගෝල රහිතව ජය පරාජයෙන් තොරව නිමාවට පත්වීම හේතුවෙන් තරගමාලාවෙන් ඉවත්වීමට ඉක්වදෝරයට සිදුවිය. ඒ වනවිටත් ‘ඊ‘ කාණ්ඩයේ පෙරමුණ අත්කරගෙන සිටි ප්‍රංශය 16දෙනා අතරට ගියේය. බොහෝ දෙනාගේ විමතියට පත්වූ මේ තරගයේ දී ගෝල ලබාගැනීමට දෙපිලටම ලැබී තිබුණේ අවස්ථා 2 බැගින් පමණි. දෙපිලම දැඩි ආරක්ෂාකාරී ක්‍රීඩා රටාවක් අනුගමනය කළහ. තරගයේ 50 වැනි මිනිත්තුවේ දී ඉක්වදෝරයේ ඇන්තෝනියෝ වැලෙන්සියා රතු කාඩ් පතෙන් දඬුවම් ලබා පිටියෙන් ඉවත්වූයේ ලූකාස් ඩිග්නේට නීතිවිරෝධි බාධා කිරීමක් සිදුවූ බැවිනි. එය එක්වදෝර කඳවුරේ පීඩනය ඉහළ දැමීමට සමත්විය. එහෙත් ඊට මිනිත්තු 3කට පසුව ගෝලයක් ලබාගැනීමට තිබූ අවස්ථාවක් එක්වදෝරයට අහිමිව ගියේය. අනතුරුව 81 වැනි මිනිත්තුවේ දී ද එවැනිම අවස්ථාවක් එක්වදෝරයට මඟ හැරිණි. තරගය නිමාවීමට මිනිත්තු 5ක් තිබියදී කරිම් බෙන්සිමාගේ දරුණු පහරක් ඉතා අසීරුවෙන් වැළැක්වීමට එක්වදෝරයේ දැල් රකින්නා වන ඩොමින්ගස් සමත්විය. ඒ අනුව ගෝල රහිතව තරගය නිමාවට පත්වූ අතර ප්‍රංශය ‘ඊ‘ කාණ්ඩයේ පෙරමුණට පත්විය. 1998 ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ ශූරයන් වූ ප්‍රංශය ඉන් අනතුරුව මූලික වටයේ තම කාණ්ඩයේ පෙරමුණට පත්වූයේ පළමු වරටය. දෙවැනි වටයේ දී ප්‍රංශයට තරග වැදීමට සිදුවී ඇත්තේ නයිජීරියාව සමගය.

Post a Comment