Ads (728x90)

Smiley face

සුපිරි ක්‍රීඩක නේමර්ගේ ගෝල ද්විත්වයෙන් ප්‍රාණවත් වූ සත්කාරක බ්‍රසීලය ගෝල 4-1 කින් කැමරොන් පිල පරදවා ‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණට පත්විය. බ්‍රසීල ජාතික ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගය ඔවුන්ගේ 100 වැනි ජාත්‍යන්තර තරගය විය. තරගය ආරම්භයේ දීම අගනා ගෝලයක් රැස් කිරීමට බ්‍රසීලයේ පොලීනෝට ලැබුණු අවස්ථාව ගිළිහී ගිය නමුත් නේමර් 17 වැනි මිනිත්තුවේ දී ලබාගත් විශිෂ්ට ගෝලයත් සමග වේලාසනින්ම පෙරමුණ ගැනීමට බ්‍රසිලය සමත්විය. ඉන් මිනිත්තුවකට පසුව යළි ක්‍රියාත්මක වූ නේමර් ගැසූ වේගවත් පහර කැමරුන් දැල් රකින්නා වන ඉටන්ජේ වැළැක්වූයේ ඉතා අසිරුවෙනි. කැමරොන් දැල් රකින්නාගේ සීමාව අසල දී හල්ක් විසින් යොමු කරනු ලැබූ පන්දුව නිවැරැදිව නතර කර ගැනීමට නොහැකිවීමෙන් බ්‍රසීලයට තවත් ගෝලයක් මඟ හැරී ගියේය. අනතුරුව 25 වැනි මිනිත්තුවේ දී කැමරොන් පිලේ එනෝ යොමු කළ පන්දුවට එන්යොම් හිසෙන් පහරක් ගැසුවද එය දැල් කණුවේ වැදී ඉවතට ඇදී ගියේය. එහෙත් ඊළඟ මිනිත්තුවේ යළි ක්‍රියාත්මක වූ එන්යොම් පන්දුව ජොයෙල් මැටික්ට ලබාදුන් අතර ඔහු එය ඉතා සාර්ථකව බ්‍රසීලයේ දැළ තුලට යොමු කිරීමෙන් තරගය ගෝල 1-1ක් ලෙස සම තත්ත්වයට පත්විය. නේමර්ගේ සිත්ගන්නා සුලු දෙවැනි ගෝලය වාර්තා වූයේ ඉන් පසුවය. ඔහු එය රැස් කළේ 34 වැනි මිනිත්තුවේ දීය. නේමර් විසින් රැස් කරනු ලැබුවේ මෙවර තරගමාලාවේ 100 වැනි ගෝලයයි. කැමරොන් පිලේ ආරක්ෂක කලාපය හරහා දිව යමින් සිය දකුණු පාදයෙන් ගැසූ පහර දැල් රකින්නාගේ වැරැදි කෝණයෙන් දැල තුළට රිංගා ගියේය. ඒ අනුව තරගයේ පළමු භාගය නිමාවනවිට ගෝල් 2-1ක් ලෙස බ්‍රසීලය ඉදිරියෙන් පසුවිය. විවේකයෙන් අනතුරුව, 49 වැනි මිනිත්තුවේදී, සිය මංගල ලෝක කුසලාන ගෝලය වාර්තා කළ අතිරේක ක්‍රීඩක ෆ්‍රෙඩ් ගෝල් 3-1කින් බ්‍රසීලය ඉදිරියට ගෙන ගියේය. බ්‍රසිලයේ සිවුවැනි ගෝලය වාර්තා වූයේ තරගය නිමාවීමට මිනිත්තු 6ක් ඉතිරිව තිබියදීය. එය ලබාගත්තේ ෆර්නැන්ඩීනෝ විසිනි. පිළිමළුන් පිටුදැකීම ඇරඹෙන 16 දෙනාගේ වටයේ දි බ්‍රසීලය තරග වැදීමට නියමිතව ඇත්තේ චිලී කණ්ඩායමට එරෙහිවය.

Post a Comment