Ads (728x90)

Smiley face

විස්මිත ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ ලුවිස් සුවාරිස් ගෝල ද්විත්වයක් ලබාගැනීම නිසා එංගලන්තයට එරෙහිව ගෝල් 2-1 ක විශිෂ්ට ජයක් ලබාගැනීමට උරුගුවේ පිල සමත් විය. සුවාරිස්ගේ පළමු ගෝලයෙන් පසුව එංගලන්තයේ වේන් රූනි ද ගෝලයක් ලබා ගනිමින් ගෝල සංඛ්‍යාව සම කරගත් නමුත් තරගය නිමාවීමට මිනිත්තු 6ක් ඉතිරිව තිබියදී සිය දෙවැනි ගෝලයත් ලබාගනිමින් උරුගුවේ පිලට ජයගෙන දීමට සුවාරිස් සමත්විය. 'ඩී' කාණ්ඩයේ තරගයක් ලෙස සාවෝ පාවුලෝ ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ මුල් භාගයේ දී දෙපිල අතර ගෝල රැස් කිරීමට ආසන්න වූ අවස්ථා කීපයක්ම හුවමාරු විය. පළමුවෙන්ම ගෝලයක් රැස් කිරීමට තිබූ අවස්ථාව මඟ හැරී ගියේ එංගලන්තයේ වේන් රූනිටය. ඒ 30 වැනි මිනිත්තුවේදීය. ඔහුගේ සගයකු වන ස්ටීවන් ජෙරාඩ් එල්ල කළ නිදහස් පහරක් ප්‍රතිවාදීන්ගේ ගෝල් කණුවේ ගැටී නැවත පිටියට එද්දී ඊට ප්‍රතිප්‍රහාර දෙමින් ගෝලයක් ලබාගැනීමට තිබූ අනගි අවස්ථාවක් රූනිගෙන් ගිලිහී ගියේය. තරගාවලියෙන් ඉවතට විසිවීමේ අවදානමක් තිබෙන බැවින් දෙපිලම වැරැදි සිදු නොවීමට වග බලාගත්හ. 39 වැනි මිනිත්තුවේ දී උරුගුවේ නිකොලස් ලෙඩේරියෝ ප්‍රතිවාදී ක්‍රීඩක ජෙරාඩ් අභිබවා තම කණ්ඩායමේ එඩිසන් කැවැනි වෙත පන්දුව යොමු කළ අතර ඔහු එය සාර්ථකව සුවාරිස්ට පිරිනැමුවේය. සුවාරිස් කිසිදු කළබලයකින් තොරව තම හිසෙන් ගැසූ පහරත් සමග තරගයේ පළමු ගෝලය වාර්තා කරමින් උරුගුවේ පිල පෙරමුණට ගැනීමට සමත්විය. තරගයේ පළමු භාගය නිමාවට පත්වූයේ ගෝල 1-0 ක් ලෙස උරුගුවේ පිලට වැඩි ගෞරවය අත්කර දෙමිනි. එංගලන්තයේ නොසන්සුන්කම මැද ආරම්භ වූ දෙවැනි භාගයේ උරුගුවේ දෙවැනි ගෝලය වාර්තා කිරීමට කැවැනිට තිබූ අවස්ථාවක් ගිලිහී ගියේය. 52 වැනි මිනිත්තුවේ දී මෙය සිදුවිය. අනතුරුව 75 වැනි මිනිත්තුවේ දී එංගලන්තයේ බලාපොරොත්තුව ඉටු කිරීමට රූනි සමත්විය. පිටියේ මැද දී ග්ලෙන් ජොන්සන් පිරිනැමූ පන්දුව ප්‍රතිවාදීන්ගේ දැළ දක්වා තනිව ගෙන ගිය රූනි ලබාගත් ගෝලයත් සමග දෙපිලම 1-1ක් ලෙස සම තත්ත්වයට පත්විය. එය ලෝක කුසලාන පාපන්දු තරගයක රූනි ලබාගත් පළමු ගෝලය විය. කෙසේ වෙතත් 84 වැනි මිනිත්තුවේ දී එංගලන්තයේ ස්ටීවන් ජෙරාඩ්ගෙන් සිදුවූ දුර්වලතාවයක් වාසියට හරවා ගත් සුවාරිස් තරගයේ සිය දෙවැනි ගෝලය වාර්තා කළේ උරුගුවේ ජය තහවුරු කරමිනි. ඔහුගේ වේගවත් පා පහරින් ඉගිළුනු පන්දුව රොකට්ටුවක් මෙන් එංගලන්ත දැල් රකින්නා වන ජෝ හාට්ට සිතාගැනීමට වත් කාලයක් නොතබා දැළ තුළට වැදුණේය. පළමු තරගයේදී ඉතාලිය හමුවේ ගෝල 2 - 1 ක් ලෙසින් පරාජය වූ එංගලන්ත පිල මෙම ප්‍රතිඵලයත් සමගින් තරගාවලියෙන් ඉවතට විසිවීමේ දැඩි අවදානමකට මුහුණ දී සිටී. තරගාවලියේ රැඳී සිටීමට නම් අද (20 වැනිදා) තරගයේදී ඉතාලි පිල විසින් කොස්ටාරිකානු පිලත් ලබන අඟහරුවාදා උරුගුවේ පිලත් පරාජය කළ යුතුය. ඒ අතරවාරයේදී කොස්ටාරිකා පිල පරාජය කිරීමට එංගලන්තය සමත් විය යුතුය. එසේ නොවුණහොත් වසර 56 කට‍ පසුව ලෝක කුසලාන පාපන්දු තරගයකදී පළමු වටයේදීම ඉවතට විසිවීමට එංගලන්ත පිලට සිදුවනු ඇත.

Post a Comment