Ads (728x90)

Smiley face

දකුණු කොරියාවට එරෙහිව ගෝල 1-0 ක ජයක් ලැබූ බෙල්ජියම මූලික තරග වටය නිමාවට පත් කළේ සහභාගි වූ තරග තුනම ජය ගැනීමේ වාර්තාවක් ද සමගිනි. මේ සමග ‘එච්‘ කාණ්ඩයේ මුදුනා වීමට ඔවූහූ සමත්වූහ. කොරියානු පිල සියලුම තරග පරාජය වීම නිසා පළමු වටයෙන්ම ඉවතට විසිවී ගියේය. කොරින්තියස් හී පැවැති මේ තරගයේ භාගයකටත් වැඩි කොටසක් බෙල්ජියම තරග වැදුණේ ක්‍රීඩකයන් 10 දෙනකුගෙනි. ඊට හේතුව ඔවුන්ගේ ප්‍රහාරාත්මක ක්‍රීඩක ස්ටීවන් ඩිෆෝ රතු කාඩ් පතෙන් දඬුවම් ලබා පිටියෙන් ඉවත්වීමය. එය සිදුවූයේ 44 වැනි මිනිත්තුවේ දී ඔහු ප්‍රතිවාදී ක්‍රීඩක කිම් ෂින්වූක්ගේ සිරුර මතට කඩා පැනීම නිසාය. ඩිෆෝට රතු කාඩ්පතක් ලැබිම හැරුණුවිට තරගයේ පළමු භාගයේ දී එතරම් දෙයක් සිදු නොවීය. දෙවැනි භාගයේ දී දෙපිලටම ගෝල ලබා ගැනීමේ අවස්ථා කිහිපයක්ම උදාවිය. එහෙත් සාර්ථක වූයේ 77 වැනි මිනිත්තුවේ ජැන් වර්ටොන්ගන් ගත් උත්සාහය පමණි. එවැනි අවස්ථා දෙකක් තරගයේ 59 වැනි මිනිත්තුවේ දී දෙපැත්තටම හුවමාරු විය. මුලින්ම බෙල්ජියමේ මර්ටෙන්ස් ඉලක්කය බලා ගැසූ වේගවත් පහර දක්ෂ ලෙස රැක ගැනීමට දකුණු කොරියාවේ දැළ රකින සං සමත්වූ අතර ඉන්පසුව සං විසින් බෙල්ජියමේ දැළ වෙතට යොමු කරන ලද පන්දුව දැල් කණුවේ වැදී ඉවතට විසිවිය. තරගයෙන් ජයගත් බෙල්ජියම දෙවැනි වටයේ දී තරග වදින්නේ අමෙරිකාව සමගය. එය මෙවර තරගමාලාවේ ඔවුන් මුහුණදෙන මුල්ම බරපතලම තරගය ද වේ.

Post a Comment