Ads (728x90)

Smiley face

2014 ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ මෙතෙක් වාර්තා වූ වඩාත්ම කැපී පෙනෙන ජයග්‍රහණයට හිමිකම් කියමින් ස්විට්සර්ලන්තයට එරෙහිව ගෝල 5-2ක වාර්තාගත ජයක් අත්කර ගැනීමට ප්‍රංශය සමත්විය කාණ්ඩයේ තරගයක් ලෙස නෝවා සැල්වදෝරයේ පැවැති මේ තරගයෙන් ප්‍රංශය ලැබූ විශිෂ්ට ජයත් සමග ස්විට්සර්ලන්තය ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට ගියේය. වේලාසනින්ම ඔවුන්ගේ ප්‍රබල ක්‍රීඩකයකු වන ස්ටීවන් වොන් බර්ගන් තුවාල ලබා පිටියෙන් ඉවත්වීම ස්විට්සර්ලන්ත කණ්ඩායම දැඩි අසීරුතාවට පත් කළ මුල්ම සිදුවීම විය. ප්‍රංශ ක්‍රීඩක ඔලිවර් ගිරෝඩ්ගේ සපත්තුව වැදීම නිසා මුහුණ තුවාල කරගත් වොන් බර්ගන් වෙනුවට අතිරේක ක්‍රීඩක පිලිප් සෙන්ඩරස් පිටියට පැමිණියේය. අනතුරුව 17 වැනි මිනිත්තුවේ දී වැල්බුයිනාගේ පන්දු යොමු කිරීමකට ගිරෝඩ් සාර්ථකව හිසෙන් ගැසූ පහරින් ප්‍රංශයේ පළමු ගෝලය වාර්තා විය. ඊට මිනිත්තුවට පසුව ප්‍රංශයේ සුපිරි ක්‍රීඩක කරිම් බෙන්සිමා ප්‍රතිවාදී ක්‍රීඩක වැලොන් බෙහ්රමිගෙන් ඉතා දක්ෂ ලෙස පන්දුව උදුරා එය බ්ලයිසි මටූඩි වෙත සාර්ථකව යොමු කිරීමෙන් ප්‍රංශයේ දෙවැනි ගෝලය වාර්තා වූ හෙයින් පළමු විනාඩි 20 නිමා වීමටත් පෙර 2-0 ක් ලෙසින් ප්‍රංශය පෙරමුණේ විය. තුන්වැනි ගෝලය වාර්තා වූයේ 40 වැනි මිනිත්තුවේ දීයග ඔලිවර් ගිරෝඩ්ගේ පන්දු යොමුකිරිමක් මගින් එය ලබාගත්තේ වැල්බුයිනාය. ඊට පෙර 33වැනි මිනිත්තුවේ දී ස්විට්සර්ලන්තයේ ඩිජොරෝ නීතිවිරෝධි අයුරින් බෙන්සිමාට බාධා කිරීම මත ප්‍රංශයට දඬුවම් පහරක් පිරි නැමුණ ද එය සාර්ථක කරගැනීමට බෙන්සිමාට හැකිවූයේ නැත. මෙම තත්ත්වය මත ප්‍රංශය ගෝල 3-0 ක් ලෙස ප්‍රබල තත්ත්වයක පසුවෙමින් පළමු අර්ධය අවසන් කළේය. දෙවැනි භාගයේ දී ස්විට්සර්ලන්තය තවත් පීඩනයට පත් කළ ප්‍රංශ ක්‍රීඩකයෝ මිනිත්තු 8ක් ඇතුළත පිට පිට ගෝල දෙකක් රැස් කරමින් ගෝල 5-0 කින් පෙරමුණ ගත්තේ මෙවර තරගමාලාවේ දී අමතක නොවන පරාජයක් ස්විට්සර්ලන්තය හමුවේ තබමිනි. ප්‍රංශයේ සිවුවැනි ගෝලය වාර්තා කිරීමේ ගෞරවය දිනාගත්තේ බෙන්සිමාය. ඔහු 66 වැනි මිනිත්තුවේ දී සෙන්ඩරස් අභිබවා යමින් විශිෂ්ට පහරකින් සිය ගෝලය ලබාගත්තේය. 73වැනි මිනිත්තුවේ දී ප්‍රංශයට තරගයේ 5 වැනි ගෝලය තිළිණ කරන ලද්දේ සිසිකෝ විසිනි. තරගය පුරාම කැපී පෙනෙන ක්‍රීඩාවක නිරතවූ බෙන්සිමා එවර ද සිසිකෝට සාර්ථකව පන්දුව පිරිනැමුවේය. තරගය නිමාවීමට මිනිත්තු 9ක් ඉතිරිව තිබියදී ගෝල ද්විත්වයක් රැස් කිරීමට සමත්වූ බ්ලෙරිම් සෙමයිලි හා ග්‍රැනිට් ක්ෂකා ඒ වනවිට දැඩි පසුබෑමකට ලක්ව සිටි ස්විට්සර්ලන්ත පිලේ පරාජයේ දිග පළල තරමක් අඩු කරගත්තේය. ඒ ගෝල දෙකත් සමග ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ ලැබූ වඩාත් අපකීර්තිමත් පරාජයෙන් බේරිමට ඔවුන්ට හැකිවිය. විශේෂිතම කරුණ වන්නේ ස්විට්සර්ලන්තය 1992න් පසුව ප්‍රංශය හමුවේ පරාජය වී නොතිබීමය.

Post a Comment